Thursday, August 15, 2019

මන්දාරම් නුවර
මගේ උපන්ගම වූ ගෝනකැලේ ආසන්නයේ පිහිටි පැරණි ජනාවාසයක් තමයි මන්දාරම් නුවර .ඔබ නුවරඑළිය නගරයේ බස් නැවතුම්පොළ ඉදිරියේ සිට පිදුරුතලාගල කන්දේ රුපවාහිනී විකාශ කුළුන දෙස බැලුවොත් ඔබසිටින පැත්තට ප්‍රතිවිරුද්ධ ව කන්දේ අනිත් පැත්තේ තියෙන්නේ මන්දාරම් නුවරයි . නමුත් පිදුරුතලාගල කන්දට නැග්ග කෙනෙකුට මන්දාරම්නුවර හරියට පෙනෙන එකක් නැතිවේවි .හේතුව එම ජනපදය ඒ තරමටම කන්ද පාමුලට වී තිබීමය .මේක හඟුරන්කෙත රාජධානිය ආරක්ෂාව සඳහා ටික කලකට අරන් ආව ප්‍රදේශයක් .දෙවන රාජසිංහ රජුව හිංදු භක්තිකයෙක් කරවූ ‘ගිරි’ නම් කපටි සන්නාසිය ගේ කටේ වැලි කොටා මැරවූ ප්‍රදේශයද පිහිටා ඇත්තේ ද ඔය ප්‍රදේශයේ ය .එම ගම ‘වැල්ලගිරිය’ නම් වේ . මන්දාරම්නුවර ජනපදය ස්වභාවයෙන්ම අලංකාරයෙන් පරිපූර්ණ වූ ප්‍රදේශයක් .සමෝච්චරේකා කාර ලියැදි වලින් සැදී ඇති කුඹුරු පද්ධතිය ඉතා අලංකාර ලෙස ඈතට පෙනෙනවා .මෙම දසුන හරියට බලාගන්න නම් ඔබ නුවරඑළිය ගෝනකැලේ මාර්ගයේ එනකෙනෙක් නම් GOODWOOD ජනපදය පසුකර ‘කපොල්ල’ යන ස්ථානයට පැමිණ මන්දාරම්නුවර දෙස බලන්න ඕනි .එතකොට අපේ ඉපැරණි සශ්‍රීක ගමක් දකින්න පුළුවන් . මේ මන්දාරම්නුවර අයිතිහාසික රාජධානියට පිටදී සිටින්නේ ‘මහා පව්රක් ’බඳු පිදුරුතලාගල කඳුවැටියයි .නුවරඑළිය නගරය පිදුරුතලාගල එක්පැත්තකින් පිහිටන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5280 ක් ඉහලින් .නමුත් කන්දේ අනිත් පැත්තේ ඇති මන්දාරම්නුවර පිහිටන්නේ මුහුදි මට්ටමේ සිට අඩි 3000 කින් පමණය.ඒ අනුව පිදුරුතලාගල පැත්තෙන් මන්දාරම් නුවරට කෙනෙකුට පිවිසීම අමාරු නිසාම ලංකාවේ රාජධානිය මන්දාරම්නුවරට ගෙනයන්ට ඇතැයි සිතනවා .මේක විශාල ජනපදයක් .මන්දාරම්නුවර වටකොට ඇති ගම් සහ ජනපද වන්නේ එළමලේ, goodwood, මැටිබැමිය, ආලෝකබද්ද ,උඩවෙල ,රන්කොටියා බොක්ක ,ආදී යයි . අපි පුංචිකාලේ නම් කෘෂිකර්මයෙන් ස්වයන්පොෂිත මේ ගම්වල පතන්වල හැදුන පේර,ජෑම් පේර, නුවරඑළිය නගරයේ සැහෙන්න අලෙවිකලා .අපේ අසමතුලිත සංවර්ධනයට හසුනොවී ඉන්න ඒ පතන් වලටද බැරිවෙන්න ඇති .මෙලහකට ඒ වටිනා පළතුර ඒ පළාතෙන් ඉවත්වෙලාද දන්නේ නැහැ . මොකද මම ගෝනකැලේ න් ගාල්ලට සංක්‍රමණය වෙලා අවරුදු 20 ටත් වැඩියි .මාත් ආසාවෙන් හිට්යා මන්දාරම්නුවර ඩිස්පැන්සරියට යන්න .එත් බැරිවුනා !
ඔය වගේම රටේ අනිත් පළාත්වලත් අහිංසක ගැමියන් අතර ට රටේ අමාරු කාරයෝ ටිකක් ද ජනපද පිහිටුවීම හරහා ගම්වලට එකතුවුනා . ඒක වුනහැටි දවසක් එවකට හඟුරන්කෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ජෝර්ජ් අබේගුණසේකර’ මහතා විස්තර කරමින් ලස්සන කතාවක් කිව්වා .මෙතැන් සිට මම කියන්නේ එතුමාගේ වචනවලින් .(මේ සිද්දි වෙලා තියෙන්නේ අම්පාර පැත්තේ 1948 න් පසුව පිහිටවූ ජනපද වල )
“ඔන්න අයිෂේ අපේ එවකට අග්‍රාමාත්‍ය ඩි .එ ස් . සේනානායක මහත්තයා ලංකාව පුරාම ජනපද හෙවත් කොලනි හදන්න පටන්ගත්තා .එහි තිබුනේ එකම සැලැස්මකට හදනලද සිමෙන්ති ගෙවල් .එවකට අපේ ගම්වල තිබුන පැල්පත් දිහා බලනකොට නම් මේවා හොඳ ගෙවල්. ඩ් .එස් .ට ඕනිවුනා මේක සාර්ථකව කරන්න.හැබැයි මේ වැඩවලටඈන් . ඇම් .ලාගෙන් බාධා එල්ලවුනා .ඒ නිසා අගමැති තුමාට මේ වැඩසටහන ගම්මු අතරට ගෙනියන්න සිංහළ නිලධාරීන් ඕනි වුනා . කොටින්ම මම තමයි පළවෙනි සිංහළ (ප්‍රදේශිය ආදායම් නිලධාරී) D .R.O. අපි ගෙවල් හදලා සැම ගමකින්ම පවුල් දෙකගානේ තෝරලා දෙන්න කියලා මුළු රටේම ගම්වල ආරච්චි මහත්තයලට කිව්වා . ඒ දෙන පවුල් අර ජනපද වල පදිංචි කළා .අපිට හරියට අමාරුවුනා පැල්පත් වල හිටි අය ගෙවල් වලට පුරුදු කරන්න .පැල්පත්වල මැටි පොලවට තමුන් බිලා ඉතුරුවෙච්ච තේ ටික හලනවාවගේ ඔවුන් මේ ගෙවල්වල සිමේන්ති පොලවට ත් තේ කහට හලනවා .ඉඳුල් වතුරටික ගේ ඇතුලේ ඉඳන්ම මිදුලට විසිකරනවා .බොහෝවිට ජනපද පරික්ෂා කරන්න යන නිලධාරින් ට ඒවත් නාගෙන තමයි එන්න වෙන්නේ .වැසිකිලිය වහලා දාලා වත්තේ පහලමයි කක්කා කරන්නේ . PHI මහත්තුරුන්ට ඒ කාලේ කිව්වේ ‘සැනිටරි රිපෝටර්’.හැබැයි එක කියාගන්න බැරි මිනිස්සු කියන්නේ “සැන්ඩිබෝට්” මහත්තයා කියලා .ඔවුන් එළියේ ‘කැතකරන’ මිනිසුන්ට දඩ ගහන්න ගත්තා .අන්තිමේ මේ ගම්මු ඇවිත් රිපෝට් කරා
“අපිට වැසිකිලිය ට ගිහිං දොරවහගත්තම කොහොමත් කක්කා යන්නේ නැහැ .අඩුගානේ අහස පෙනෙන්න වත් වැසිකිලියේ වහල අයින්කරලා දෙන්න කියලා .සානුකමිතව ඒ ගැන හිතුව උප දිසාපති ඒකට ඉඩ දුන්නා . රටේ වෙන තැන්වල කොලනිවල ටත් ‘ලෝක ඇම්ඩන්’ ලා එකතුවුනේ මෙහෙමයි .අගමැතිතුමා සෑම ආරච්චි වසමකින් ම පවුල් දෙක ගානේ ඉලුවම ආරච්චි ලා කරලා තියෙන්නේ තමුන්ට හසුරුවාගන්න බැරි ලෝකයෝ ටික නම්කරලා මේ ජනපද වලට එවලා .ඉතිං හොඳම සුප් එක තමා මේ ජනපද වලට ලැබුණේ. ඔවුන් විවිධ ගම්වල විවිධ සංස්කෘතින් වල හැදුනු අය . මම මුලින්ම වැඩ බැලුවේ අම්පාර පැත්තේ . දැන් ගෙවල්වලට හුරුවන මේ මිනිස්සුන් ගේ සමහරු ගෙවල්වලට එකෙක නම් දාගෙන තිබුණා. ‘සමන්විලා’ ජෝතිවිළා,ආදී වශයෙන් . එක අංකුරයෙක් මිනිහගේ ගෙදරට නමදාලා තිබුනේ “කෙළවිලා” කියලා .මොකද මිනිහා මේ ජනපදයට පදංචියට ඇවිත් ඇත්තේ කැමැත්තෙන් නොවේ .ආරච්චි මහත්තයා බලෙන් දාපුනිසා . ඉතින් දැන් සමහර ජනපදවල ඉන්න පරම්පරාව ඔය හැම අංශයෙන්ම දක්ෂයන්ගේ සම්මිශ්‍රණයක් . එකත් හරියට ‘ මැක්සිකන් නැන්සි’ ගේ දරුවා වගේ .
ඇමෙරිකාවේ මැක්සිකෝවේ හිටියා ලෝකයේ හොඳම ගැටකපන්නිය (පික් පොකට් කාරිය ) නැන්සි කියළා. දවසක් ඈ හමුවෙන්න ආවා කඩවසම් තරුණයෙක් .ඔහු ‘මැක්සිකන් නැන්සි’ හමුවී තමුන්ව හඳුන්වලා දුන්නා ,
“නැන්සි .මම තමයි ‘චිකාගෝ චාලි’ කියන්නේ.”
නැන්සිගේ සතුට ඉහවහා ගියා .ලෝකයේ ඉන්න දක්ෂම පික්පොකට් කරු තමා ඉදිරියේ .මොන සතුටක්ද ? ඇය පැන්නගමන් ඔහුව වැළඳ ගත්තා .දෙන්නා දැඩි ග්‍රහණයෙන් මිදෙන්න ටික වේලාවක් ගියා .අනතුරුව ‘චිකාගෝ චාලි’ කිව්වා .
‘මං ආවේ ඔයාට විවාහ යෝජනාවක් කරන්න .ඔයා මට ලැබෙනවා නම් අපිට පුළුවන් ලෝකයේ අසමසම පික්පොකට් දරුවා. බිහිකරන්න.’
නැන්සිත් එකපයින් කැමතිවී ඔවුන් විවාහ වුනා .ටික කාලෙකින් ඔවුන් ගේ කුළුඳුල් දරුවා බිහිවෙන අවස්ථාව උදාවුණා .දරුවා බිහිවුනායින් පස්සේ ඩොක්ටර් ඇවිත් ටිකවෙලාවකින් කිව්ව කතාවෙන් ඔවුන්ගේ මුළු ලෝකෙම බිඳ වැටුනා .
“සොරි මිස්ටර් චාලි .දරුවාගේ දකුණු අත කොරවෙලා වගේ .ඇගිලි මිටමොලවාගෙන ඉන්නේ දිගහරින්නෙම නැහැ” කියළා.ඉතින් කොහොමද අපි ලෝකයේ හොඳම පික්පොකට් කරු හදන්නේ ?චාලි යි නැන්සියි දෙන්නා හඬා වැටෙනවා .ඔය අතරේ ප්‍රසුතිය කල ‘මිඩ් වයිෆ්’දුවගෙන එනව , ‘අනේ මගේ අතේ තිබුණ මංගල මුද්ද නැහැ .’කියාගෙන.ඒ අතරේ අතේ ඇඟිලිවල අබාධය පරික්ෂාකරන්න ගත්ත X Ray එක අරං ඩොක්ටර් ආවා .ඒක බැලුව චාලියි නැන්සියි සතුටින් පිනාගියා . මොකද පොඩි එකා එලියට එද්දිම මිඩ් වයිෆ් ගේ මුද්ද පික්පොකට් ගහගෙන ඇවිත් .ඒක තමයි අර මිටමොලවන් ඇවිත් ඉඳලා තියෙන්නේ .” මන්ත්‍රී තුමා ජනපද විග්‍රහය නිමකලේ අපි කව්රුත් සිනා සයුරක ගිල්වමින් .මෙහිදී කිවයුත්තේ ජනපද වාසීන් බොහෝමය වැදගත් අය .ලෝකයෝ අතලොස්සක් තමයි ඒ අතර සිටියේ .
*******උපාලි සෙනෙවිරත්න ---ගාල්ලේ සිට(2016 -08 -13 )*******

No comments:

Post a Comment