********අපේ පුංචි කාලේ-2 *********
වත්තේ පහල පලබරවුණු පෙයාර්ස් ගසේ
ගැස්සෙන ටකේ බොල්හඬ කුස්සියට ඇසේ
පාරේ පන්දු කෙළිනා කොලුවන්ගේ විසේ
අම්මා දකින විට ඒ හඬ කෙමෙන් නැසේ
මග බල බලා බස්රිය අප ළගට එන
හැකිදැයි බලනවා හරහට පාර පැන
දවසක් බසය ලගටම විත් නතර වින
රියදුරු මාමා දුන්නේ පාරක් බැරිම තැන
මිමුන් දඬුලේන් ඌරන් දුවනු දැක
තුටුවෙමු කෙලෙස නිලදරුවන් ඉඳියි රැක
නොමැතිව අවසරය වනයේ සරණ එක
සිර දඬුවමක් හෝ දඩයක් ලැබිය හැක
අප්පච්චී ගේ අම්මගේ ආවරණේ ඇක
බෝ පැල වගේ ඉන්නා කොලු ගැටව් ටික
කැලයේ සැරද්දී වන නිළ දරුන් දැක
පස්සත් වනා දිව්වා මේ කොල්ලෝ ටික
අපෙ රජදහන මුල් පාසැල ගෝන කැලේ
සුන්දර හැගීමක් අපතුල ජනිත කලේ
සැගවෙන්නට ඇහැක් තරමට පඳුරු දැලේ
‘ඒරන් ලිලීස්’ මල් පඳුරුය ඉවුරේ ඇලේ
අපි රංචුවක් සෙල්ලමකට හොරු වෙනවා
පොලිසියේ රාළහාමි සොයමින් එනවා
එකෙක් හැර අනිත් හොරුටික අහු වෙනවා
ගුණා’යි රාළහාමි දත් මිටි කනවා
පොඩි අප්පුහාමි යි ඒ නොමැතී හොරා
හොයන්නට තිබුන හැමතැන ඉවර කරා
සීනුව හඩයි තව මොහොතින් සතුට වරා
අපි කව්රුත් ගුණපාලට උදව් කරා
‘ඒරන් ලිලීස් ‘ පදුරක් ඇත ඉතිරි වුන
ඉත්තේරුවෙන් ඔහු හැන්ගුන තැන මෙ තැන
ඇරියා ගලක් ඒ පඳුරට අතට ගෙන
‘පොඩියා’ දුවයි බුදුඅම්මෝ කියා ගෙන
රතු පැහැ ගැහුණු කමිසය ඇත අතෙහි උනා
මුතුබණ්ඩා සර් ළග ‘පොඩි ‘ නතර උනා
කියනවා විස්තරය හොටුදිය කඳුළු උනා
විදුහල්පති ඉඳි වේවැල අතට ගෙනා
ලේ පෙර පෙරා පැන නැතිවී කඩෙත්තු
‘පොඩියා ‘ අඬයි දුටුවන් සිත් කෙනිත්තු
‘මන්නැති වුනොත් දහයක් වත් මිනිත්තු
කන්නට හදනවා මුන් බඩ කඩිත්තු’
හොරු අල්ලපු ක්‍රමය නියමෙට කර තිබෙනා
පොලිසියේ රැකියාව කරපන් බොට ඔබිනා
කිස් ‘ කිස් “ හඬින් වේවැල පහතට වැටුනා
ගුණපාලගේ පිට හම වේවැල එතුනා .
******උපාලි සෙනෙවිරත්න - ගාල්ලෙසිට ********
Comments
Write a comment...